Wednesday, November 23, 2016

ආයතනික සංවර්ධනය උදෙසා මනෝවිද්‍යා මෙවලම් ඇසුරෙන් කාර්මික උපදේශනයේ කාර්‍යභාරය පිළිබඳව විමසුමක්


කාර්මික මනෝවිද්‍යාව 


කාර්මික මනෝවිද්‍යාවේ  සම්භවය​  සිදු වන්නේ පලමු ලෝක යුද්ධ සමයේ දී බිඳ වැටුණු ආර්ථික හා පුද්ගල මානසිකත්වය නගා සිටුවීමේ ප්‍රථිඵලයක් ලෙසිනි.මෙසේ බිහි වූ කාර්මික මනෝවිද්‍යාවේ පූර්ව වර්ධනීයත්වය සඳහා වර්‍ෂ 1819 , 1895 සහ 1919 යන වකවානුවේදී ඇමරිකානු මනෝ විද්‍යා සංගමයේ සභාපතිවරුන් වූ වෝල්ටර් ඩිල්ස්කොට් (Walter Dillscott), ජේම්ස් මැකින් කැට්ල් (James Makkein Cattle) සහ හියුගෝ මූන්ස්ට්‍ර්බර්ග් (Heugo Munsterberg) යන මනෝවිද්‍යාඥයින් දායක වූ අතර දෙවන ලෝක යුද සමයෙන් අනතුරුවද කර්ට් ලෙවින් (Curt Lewin) සහ මුෂාර්ෆ ෂෙරීෆ් (Mushafer Sheriff) යන මනෝවිද්‍යාඥයින්ගේ පර්‍යේෂණ හේතු වන්නට විය​.

මෙසේ බිහි වූ කාර්මික මනෝවිද්‍යාව යන්න සරලව නිර්වචනය කරන්නේ නම් "සංවිධාන, වැඩ පරිසර හා වෘත්තිකයන් පිළිබඳව සිදු කරනු ලබන විද්‍යාත්මක අධ්‍යනයකැයි" හැඳින්විය හැක​. මෙකී අර්ථ දැක්වීමට අමතරව විවිධ පර්‍යේෂකයන් හා විද්වතුන් විසින් ද කාර්මික මනෝවිද්‍යාව යන්න පිළිබඳ නිර්වචනයන් දක්වා තිබේ.

"පුද්ගලයා සහ වැඩ ලෝකය අතර පවත්නා අන්තර් සබඳතාව පිළිබඳ න විද්‍යාත්මක අධ්‍යනය කාර්මික මනෝවිද්‍යාව නම් වේ."
(1965 - Guion)

"ව්‍යාපාර​ සහ කර්මාන්ත යන සන්දර්භය තුළ පුද්ගලයා සලකා බලමින් , මනෝවිද්‍යාත්මක කරුණු හා මූලිකාංග සරල ආකාරයට යොදා ගැනීම මගින් ගැටලු විසඳීම කාර්මික මනෝවිද්‍යාව නමින් හැඳින්වේ." 
(1968 – Blum & Nayler)

මෙම කාර්මික මනෝවිද්‍යාව යන්න ව්‍යවහාර විද්‍යාව තුළ දී ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ  ( APA ) 14 වන ප්‍රවර්ගයට අයත් වන්නක් බවත් එහිදී එය " කාර්මික සහ සංවිධාන මනෝවිද්‍යාව සඳහා වන සමාජය​( Society for industrial and Organizational Psychology –SIOP) ලෙසින් නම් කර ඇත.ඒ අනුව කාර්මික මනොවිද්‍යාව යටතේ ප්‍රධාන අංශ කීපයක් පිළිබඳ අවධානය යොමු කරනු ලැබේ. එනම්,
  • ·        වෘත්තියන් ආශ්‍රිත කාර්‍යය සාධනය​.
  • ·        රැකියා විශ්ලේෂණය
  • ·        පුද්ගලයින් තෝර ගැනීම හා බඳවා ගැනීම​
  • ·        විනිශ්චය කිරීම හා තීරණ ගැනීම​
  • ·        ඒක පුද්ගල පරීක්‍ෂණ මගින් දැනුම , ආකල්ප හා කුසලතා පරික්‍ෂා කිරීම​.
  • ·        මනෝ ගණිතය​
  • ·        පුහුණු කිරීම
  • ·        රැකියා නීතිය​
  • ·        වෘත්තීය ආකල්ප​
  • ·        වැඩ අභිප්‍රේරණය​
  • ·        වෘත්තීය ආරක්‍ෂාව සහ නීරෝගී බව​
  • ·        සංවිධාන සංස්කෘතිය​
  • ·        සංවිධාන සමීක්‍ෂණය​
  • ·        නායකත්වය​
  • ·        ආචාර ධර්ම​
  • ·        රැකියා නිරමාණය හා සංවර්ධනය යනාදියයි.

මෙසේ පුලුල් අවධානයක ට​ ලක් වන කාර්මික මනෝවිද්‍යාව යන්න මනෝවිද්‍යා විෂය පථය තුළ වඩා වැදගත් උප විෂය ක්‍ෂේත්‍රයක් බවට පත් වීමට හේතුව වන්නේ එය අද වන විට ඔනෑම රටක් තුළ දක්.නට ලැබීමයි.එනම් සෑම පුද්ගලයෙක්ම කාර්මිකය හා සම්බන්ධ වෙමින් කටයුතු කරනු ලැබීමයි.

මෙහිදී බොහෝ විට වෘත්තියක නිරත වන්නන් ගේ මානසිකත්වය යහපත්ව දියුණු කිරීමටත් වැඩ පරිසරය තුළ කාර්‍යක්‍ෂම හා ඵලදායී සේවයක් ඇති කිරීමටත්කාර්මික මනෝවිද්‍යාව යොදා ගනු ලබයි.

මේ ආකාරයට බලන කල කාර්මික මනෝවිද්‍යාව යන්න අද වන විට කාර්මීකරණ හා සබැඳි දෛනිකවම භාවිතා වන අත්‍යාවශ්‍ය විෂය ක්‍ෂේත්‍රයක් බවට පත් වී ඇති බව ගම්‍ය වේ.

කාර්මික උපදේශනය​

කාර්මික උපදේශනය යනු වර්තමාන සමාජයේ අධ්‍යයනයට ලක් විය යුතු ඉතා වැදගත් විෂය ක්‍ෂේත්‍රයක් වශයෙන් හැඳින්විය හැක​. ඊට ප්‍රධාන හේතුව වනුයේ අද්‍යතන කාර්මීකරණය හේතු කොට ගෙන විශාල හ්වශයෙන් මනෝ සමාජ ප්‍රශ්න උද්ගත වී තිබීමයි.තව ද දෛනිකව සංකීර්ණ වෙමින් පවතින ආර්ථික හා සමාජීය ලෝකය තුළ තම අවශ්‍යතා ඉටු කර ගැනීමට නම් සෑම අයෙකුට ම යම් රැකියාවක නිරත වීමට සිදුවීමත් එහි දී එම රැකියාවට අදාළව ගැටලු ඇති වීමත් හඳුනාගත හැකි වේ. එහි දී එම මනෝ-සමාජ ගැටලු විසඳා ගැනීම සඳහා මගපෙන්වීම මෙකී කර්මික උපදේශනය මගින් සිදු කරනු ලබයි.එහෙයින් මෙය වෘත්තීය මාර්ගෝපදේශනය නමින් ද හඳුන්වනු ලැබේ.

යම් ආයතනයක් දිගුකාලීනව සාර්ථකව පවත්වා ගෙන යාමට අවශ්‍යය නම් ඒ සඳහා යම් කිසි මනෝවිද්‍යාත්මක මැදිහත් වීමක් පැවතීම අත්‍යාවශ්‍ය ය​.එකී මනෝවිද්‍යාත්මක මැදිහත්වීම අතර උපදේශනයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි.මේ නිසාම රාජ්‍ය හෝ පෞද්ගලික හෝ වේවා සෑම ආයතනික පරිසරයකම පාහේ මෙකී උපදේශන ක්‍රියාත්මක වන ආකාරයක් දැක ගත හැකි වේ.

විශේෂයෙන් ම මානව සම්පත් කලමනාකරණ අංශය යටතේ පෞද්ගලිඅක ආයතන තුළ උපදේශනය ක්‍රියාත්මක වන අයුරු බහුලව දැකිය හැක​.මෙකී උපදේශනය  මගින් ප්‍රධාන ලෙසම සේව්‍ය​-සේවක යන අංශ ද්විත්වයටම අවධානය ලක් කල යුතු අතර එමගින් රැකියා තෘප්තිය , රැකියාවට ඇති පෙලඹුම ඉහළ නැංවීමටත් ආතතිය දුරු කොට ආයතනික සංවර්ධනය උදෙසා සූදානම් මානසිකත්වයක් ගොඩනැඔවීම හා ඒ සඳහා මගපෙන්වීම කරනු ලබයි. එවිට රැකියාව තුළ තමා පෞද්ගලිකව ම තෘප්තියක් ලබන්නාසේ ම තමා වැඩ කරන ආයතනයේ ඵලදායීත්වය ද ඉහළ නංවාලීමට දායක විය හැක​.

කාර්මික මනෝවිද්‍යාව තුළ ඇති මනෝ විද්‍යාත්මක මැදිහත් වීමක් අවශ්‍ය

විවිධ අංශ​

රැකියා ආතතිය
             ආතතිය යනු යම් කිසි බාහිර ක්‍රියාවක් හෝ සිදුවීමක් පදනම් කොට ගෙන පුද්ගලයෙකු තුළ ඇති කෙරෙන මානසික හෝ චර්‍යාත්මක ප්‍රතිචාරයක් ලෙසින් සරලව හැඳින්වීමට හැකි අතර රැකියා ආතතිය යනි කෙනෙකු තුළ තමා සිටින ආයතනික පරිසරය තුළින් හෝ ජීව විද්‍යාත්මක හෝ කායික , මානසික වශයෙන් ඇති වන යම් බලපෑමක් නිසා ඒවාට නිසි ලෙස හැඩගැස්වීමට ඇති හැකියාව අඩු හෝ වැඩි වන අවස්ථා ලෙස හැඳින්විය හැක​.

මෙකී ආතතිය විටෙක පුද්ගලයාට ධනාත්මකව බලපානු ලබන අතර තවත් විටෙක ඍණාත්මකව ද බලපානු ලබයි.මන්ද ආතතිය යනු සැමවිටම පුද්ගලයා තුළ අසහනකාරී බවක් ඇති කරවන්නක් ම නොවේ.එනම්,විටෙක ආතතිය තුළින් යමෙකු යම්කිසි ධනාත්මක හා ඵලදායී දෙයක් කිරීමට ද පෙලඹීමක් ඇති  කෙරේ.මේ නිසා ආතතිය යන්න සැමවිටම නො වැලැක්විය යුතුය​.

ආයතනයක් තුළ දී නම් මෙම ආතතිය ඇතිවීම සඳහා ප්‍රධාන හේතු කාරක කීපයක් ම බලපානු ලබයි.එමෙන් ම මෙම හේතු කාරක නිසා සේවකයන් තුළ ඍණාත්මක ප්‍රතිඵල රැසක් ම ඇති කරනු ලබයි.  ඒ පිළිබඳව පහත සඳහන් රැකියා ආතතිය පිළිබඳ ආකෘතිය ( The Model of Occupational Stresss )මගින් පැහැදිලි වේ.


එනම්
,මෙකී ඉදිරිපත් කිරීමට අනුව ආතතිය නිසා ප්‍රධාන ලෙසම සිදුවන මූලික වෙනස්කම් ත්‍රිත්වයක් හඳුනාගත හැක​.
  1. චර්‍යාත්මක වෙනස්කම්
  2. ඥාණාන්විත වෙනස්කම්
  3. මනෝවිද්‍යාත්මක වෙනස්කම්   යනාදියයි.

පුද්ගල චර්‍යාව සඳහා ආතතිය මගින් බලපෑම් ඇති වූ විට බොහෝවිට ඵලදායීතාවය අඩු වීම , සේවයට නො පැමිණීම ,රැකියාව හැර යාම , අනතුරු ඇති වීම යනාදිය ඉහළ යනු ඇත​. මෙහි ප්‍රතිඵලයක් ලෙස කාර්‍ය්‍යය සාධනයද  පහළ බසී.

මින් ගම්‍ය වනුයේ ආතතිය යම් සීමවක් දක්වා සේවක කාර්‍යඵල ඉහළ නැංවීමට බලපෑම් සහගත වුව ද ආතතිය වැඩි වන විට කාර්‍යඵලය අඩූ වීමක් සිදු වන බව ය​.මේ නිසාචර්‍යාත්මක වශයෙන් පුද්ගලයා තුළ උදාසීන බවක් ඇති කෙරේ.අනතුරුව කාලානුරූපීව අඛඬව සේවයට වාර්ථා නොකිරීම සිදු වේ.රැකියා ස්ථානය ප්‍රියජනක නොවූ නොවැදගත් ස්ථානයක් බවට පත් වේ.මෙම තත්වය දිගුකාලීනව පැවතීමෙන් සේවය හැර යාම සිදුවේ.එසේ නොවේනම් අන්තුරු වලට භාජනය වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති වේ.මන්දයත් ආතතිකාරී මනසක් ඇති විට කලබලකාරී නොසන්සුන් චර්‍යාවන් ඇති කෙරේ.එවිට තමන් රැකියාව කරන්නෙ යන්ත්‍ර​-සූත්‍ර භාවිතයෙන් අනතුරු වීමේ වැදි ඉඩකඩක් පවතී.

එමෙන් ම ආතතිය පුද්ගලයාගේ ඥාණාන්විත භාවයට ද හානි කරයි.මේ නිසා දුර්වල තීරණ ගැනීම , අවධානය අඩු වීම , කරන කියන කටයුතු අමතක වීම ආදී අවාසිදායක තත්වයන් මතු වේ.තව ද මෙම රැකියා ආතතියේ ප්‍රතිඵලයක් වශයෙන් මනෝවිද්‍යාත්මකව ද දැඩි මානසික අසහනකාරී තත්වයක් මතු කෙරේ.මෙහි ප්‍රතිඵලයක් ලෙස බොහෝවිට අධිරුධිර පීඩනය , හෘදයාබාධ ,කොලොස්ට්‍රෝල් වැනි කායික ආබාධයන් ද ඇති කෙරේ.මේ නිසා රැකියා ආතතිය යනු පුද්ගලයාට හානි රැසකට හේතු කරකයක් වස්ගයෙන් හැඳින්වීමට හැක​.

රැකියා තෘප්තිය​

රැකියා තෘප්තිය යනු පුද්ගලයා තමා නිරත වන රැකියාව තුළ ලබන අත්දැකීම් හා ඇගයුම් සමූහය තුළින් ඔවුනොවුන් තුළ මතු කෙරෙන ප්‍රියජනක ධනාත්මක චිත්තවේගක් ලෙස සරලව හඳුන්වාදිය හැකි අතර මෙය පුද්ගලයා තුල අභ්‍යන්තරව පවත්වන්නා වූත් බාහිර චර්‍යාවෙන් පමනක් නිරූපණය වන්නා වූත් හැඟීමකි.බොහෝ විට සේවකයා තුළ පවත්නා අපේක්‍ෂා ඉක්මවා ප්‍රතිලාභ ලැබේ නම් මෙම රැකියා තෘප්තිය ඔවුන් තුළ පවතී.මෙහිදී ප්‍රධාන වශයෙන්,
  • ·        රැකියාවේ  අන්තර්ගතය​          
  • ·        වැටුප් හා දීමනා
  • ·        උසස් වීම්
  • ·        අධීක්‍ෂණය​
  • ·        සාමූහිකත්වය වර්ධනය​  යනාදී සාධක මත ඇතිවන්නක් ලෙස හඳුන්වා දිය හැක​.

රැකියාවක අන්තර්ගතය ගත් විට එය රැකියාවේ නිරත වන පුද්ගලයාට ප්‍රිඅය උපදවන්නේ නම් ඒ තුළින් නව දේවල් ඉගෙන ගැනීමට , වගකීම් දරමින් ස්වාධීනව තීරණ ගැනීමට හැකි නම් කෙතරම් අභියෝහ හමුවේ පැමිණිය ද එම රැකියාව තුළින් අදාළ පුද්ගලයින්ට තෘප්තියක් ලැබේ.  තව ද සංවිධානයේ වැඩ කරන අන් පුද්ගලයින් සමඟ  සසඳා බැලීමේ දී තමට ලැබෙන වැටුප හා දීමනා මගින් තම මූලික සහ ඉහළ අවශ්‍යතා ඉටුවන්නේ නම් ඔහු හෝ ඇය තුළ තම රැකියාව පිළිබඳ තෘප්තියක් ඇති කරනු ලබයි.  මෙහිදී වැටුප් දීමනාවන්ට අමතරව තම හැකියාවන් මත උසස්වීම් ලැබෙන විට ද රැකියාව පිළිබඳ තෘප්තිය තව තවත් ඉහළ යනු ලබයි.මෙහිදී තම දැනුම හා චර්‍යාව වැඩි දියුණු වන පරිදි මනා අධීක්‍ෂණයක් යටතේ සෙවය කිරීමට හැකි වීඅම තුළින් ද තෘප්තිය ඉහළ නැංවේ.එවිට අන්‍යන් සමඟ සහයෝගීව වැඩ කිරීමට හැකියාව ලැබෙනු ඇත​.

මේ අනුව රැකියා තෘප්තිය ඉහළ යාමෙන් සේවක කාර්‍යඵලය ඉහළ යනු ලබයි.එනම් තෘප්තියෙන් අඩු සේවක සේවිකාවන්ට සාපේක්‍ෂව තෘප්තිය වැඩි සේවක සේවිකාවන් සැමවිට ම වැඩි නිමැවුමක් හා දායකත්වයක් ලබා දේ.මේ නිසා රැකියා හැර යාමේ ප්‍රවනතාවය ද ඉතා අඩු වේ.නොදන්වා සේවයට වාර්ථා නොකිරීම වැනි ක්‍රියාවන් ද අඩු ප්‍රතිශතයකට පත් වේ.මේ සියල්ල සිදු වන්නේ රැකියා තෘප්තිය හේතු කොට පුද්ගලයා තුළ ආයතනය පිළිබඳව ඇති කරන ධනාත්මක ආකල්පයන්‍ ය​.

වර්‍ෂ 1993 දී ඒ බ්ලේගන් නැමැත්තා විසින් ගෙදියන් යොදාගෙන සිදු කරන ලද "රැකියා තෘප්තිය" මැනීමේ පර්‍යේෂණයේ දී සනාථ වූ කරුණු වලට අනුව රැකියා තෘප්තිය නිසා පුද්ගලයාගේ කායික , මානසික සෞඛ්‍ය යහපත් මට්ටමකට පත් වේ.මීට අමතරව තම කාර්‍යයන් ඉක්මවමින් ම ඉගෙනීමටත් , රැකියා අනතුරු වලට මුහුණ දීමේ ප්‍රතිශතය ඉතා අඩු වීමත් , දුක්ගැනවිලි ඉදිරිපත් වීම අඩු වීමත් ,සහයෝගය වැඩි වීමත්,ගනුදෙනුකරුවන්ට උපකාරී වීමත් , පොදු කාලසටහනකට අනුව වැඩ කිරීමත් , රැකියාව තම ජීවිතයේ ම කොටසක් බවට පත් කර ගැනීමත් සිදු වන බව සොයාගන්නා ලදි.මෙමගින් ගම්‍ය වනුයේ තෘප්තිමත් භාවය යන්න රැකියාවකදී පැවතිය යුතුම මනෝවිද්‍යාත්මක සාධකයක් බව ය​.

ආයතනික මානසික ගැටලු හා මානසික රෝග​

ආයතනික පරිසර ගත් විට ප්‍රධාන වශයෙන් රාජ්‍ය හෝ පෞද්ගලික හෝ වේවා ඒ තුළ සිටින සේවකයින්ට මෙන්ම පාලකයින්ට ද යම් යම් මානසික ගැටලු හා මානසික රෝග පවතී.ඒ අතුරින් බොහෝමයක් පුද්ගලයින්ට ඇත්තේ මානසික ගැටලු ය​.ඉතාමත් කලාතුරකින් මානසික රෝගී තත්වයන් ආයතනික පරිසරය තුළින් හඳුනාගත්ත ද එවැන්නන් බොහෝ දුරට ප්‍රතිකාර ලබමින් සිටින්නන් වේ. කෙසේ වෙතත්  මානසික යහපැවැත්ම කෙරෙහි මෙවැනි ගැටලු ඇති වීම යන්න අයතනයේ යහපැවැත්ම කෙරෙහි ඍජුවම බලපානු ලබයි. 

මේ නිසාආයතනයක් තුළ පවත්නා යම් යම් මානසික ගැටලු  පිළිබඳ සොයා බැලීම හා ඒවාට අවශ්‍ය ප්‍රතිකාර හා උපදේශනයන් ලබා දීම හෝ අදාළ ප්‍රතිකාර වලට යොමු කිරීම යන්න අත්‍යාවශ්‍ය ක්‍රියාවක් ලෙස දැක්විය හැක​.එහිදී ආයතනයේ උපදේශකවරයා විසින් කුමන පුද්ගලයින් උපදේශනය හා සම්බන්ධ කර ගත යුත්තේ ද යන්න පිළිබඳවත් කුමන පුද්ගලයින්ව වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කර යුතුද යන්න පිලිබඳවත් තීරණය කළ හැකි තරම්ම් අවබෝධයකින් යුක්ත විය යුතුය​.මන්ද යහපත් මානසිකත්වයක් පවත්වා ගැනීම අත්‍යාවශය කාරණාවක් වේ. එසේ නොවූ විට ,
  • ·        වැරදි තීරණ වලට එලඹීම.
  • ·        ආයතනය තුළ ගැටුම් ඇති කර ගැනීම​.
  • ·        නායකත්ව හැකියාවන් පිළිබඳ ගැටලු ඇති කර ගැනීම​.
  • ·        සේවයට නිසි පරිදි වාර්ථා නො කිරීම​.
  • ·        අන්‍යන් ගේ අප්‍රසාදයට ලක් වීම​ වැනි නොයෙකුත් ගැටලුකාරී තත්වයන්ට මුහුණ දීමට සිදු වේ.

මෙවැනි මානසිඅක ගැටලු කාලයක් තිස්සේ දිගුකාලීනව පැවතීම නිසා ඒවා මානසික රෝග බවට පරිවර්තනය විය හැක​.මේ නිසා උපදේශකවරයාගේ මැදිහත් වීමෙන හා මගපෙන්වීමෙන් මෙම ගැටලු මුල් අවධියේදීම හඳුනා ගෙන ඒවාට නිසි ප්‍රතිකාර හෝ උපදේශනය ලබා දීමට කටයුතු කළ  යුතු ය​.

ආයතනික සංවර්ධනය​

සංවිධාන සංවර්ධනය යනු යම් ආයතනයක් විසින් එහි සිටින සේවකයන් ගේ මෙන් ම එම සංවිධානයේ සුබ සිද්ධිය සහ දියුණුව තහවුරු වන පරිදි ආයතනය තුළ යම් ධනාත්මක වෙනසක් ඇති කිරීම ලෙස සරලව විග්‍රහ කළ හැකි ය​. එනම්,සංවිධාන වල ඵලදායීත්වය හා පුද්ගලයින් ගේ සංවර්ධනය වන පරිදිඅ මානවහිතවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී අගනාකම් වලට අනුව සැලසුම් සහගතව සංවිධාන වෙනස් කිරීම සඳහා යොදා ගන්නා ශිල්ප ක්‍රම වල එකතුව ක්‍රියාවට නැංවීමක් ලෙස මෙම ආයතනික සංවර්ධනය යන්න හැඳින්විය හැක​.
මේ සඳහා සංවිධානයක් තුළ උසස් වතිනාකම් හා සාරධර්ම පද්ධතියක් පැවතිය යුතුය​. මේවා වැඩ ආචාර ධර්ම නමින් ද හඳුන්වනු ලබයි. එනම්,

  • ·        මිනිසුන්ට ගරු කිරීම​.
  • ·        විශ්වාසය සහ සහයෝගය​.
  • ·        සමාන ලෙස බලය යොදා ගැනීම​.
  • ·        අවංක බව හා විවෘතභාවය​.
  • ·        කැපවීම හා සහයෝගී සහභාගීත්වය යනාදිය විසින් සංවිධානයක පැවැත්ම තහවුරු කර ගත හැකි වේ.
එහිදී ප්‍රධාන ලෙස ම සංවිධාන සංවර්ධනය කිරීමේ ක්‍රම ශිල්ප කිහිපයක් භාවිතා කරනු ලබයි.  ඒවා නම් ,

  • ·        සංවේදී පුහුනුවක් ලබා දීම​.
  • ·        සමීක්‍ෂණ ප්‍රතිපෝෂණය​.
  • ·        ක්‍රියාවලී උපදේශනය​.
  • ·        කණ්ඩායම් ගොඩනැගීම​.
  • ·        අන්තර් කණ්ඩායම් සංවර්ධනය යනාදිය යි. 

මෙමගින් රැකියාවට තෝරා ගන්න සේවකයන් තුළ තම සංවිධාන පරිසරය හුරු කරවමින් අන්‍යෝන්‍ය බැඳීමක් ඇති කරවමින් තම පෞද්ගලික රුචීන් , ආකල්ප බිඳ දමා ආයතනික නීති රීති , ආකල්පයන්ට ගරු කිරීමට හුරු කරවයි. එහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ආයතනයේ සංවර්ධනය  උදෙසා කැපවීමට අවශ්‍ය සංවිධානාත්මක චර්‍යාවන් ගොඩනැංවීමක සිදු කෙරේ.

ආයතනික සංවර්ධනය ඉහළ නැංවීම සඳහා කාර්මික උපදේශනයේ දායකත්වය (මනෝවිද්‍යාත්මක මෙවලම් ඇසුරෙන්)

ආයතනයක සංවර්ධනය යනු යම් ආයතනයක් හෝ සංවිධානයක් සංවර්ධනය කිරීමේ දී එහි සිටින පුද්ගලයන් ගේ මෙන් ම ආයතනික සඵලදායීත්වයේ වර්ධනීය තත්වයකි.මෙහිදී ප්‍රධාන ලෙස ම අදාළ ආයතනය සතු අරමුණු හා සංවර්ධන ඉලක්ක හඳුනා ගත යුතු ය​.මෙහිදී ප්‍රථමයෙන් ම ආයතනය තුළ සිටින පුද්ගලයින් ගේ කායික , මානසික යහපැවැත්ම තහවුරු කරනු ලබන උපදේශකවරයකු විසින් ආයතනික ව්‍යූහය අවබෝධ කර ගෙන ඒ අනුව ආයතනයේ සියලුම ශාඛාවන් පිළිබඳ  විශ්ලේෂණාත්මක විමර්ශනයක් සිදු කොට වාර්තාවක් පිළියෙල කළ යුතුය​.

මෙහිදී ප්‍රධාන ලෙස ම  සේවක හා පාලක යන දෙපක්‍ෂයේම පවත්නා චර්‍යාත්මක,ඥාණාත්මක හා මනෝවිද්‍යාත්මක දුර්වලතා පිළිබඳ අවධානය යොමු කළ යුතුය​. එනම් ,
  • ·        මසක් තුළ සැලකිය යුතු ප්‍රමාණයක් සේවය හැර ගොස් ඇති දැයි බැලීම​.
  • ·        වැඩ ආකල්පය ඍණාත්මක දැයි බැලීම​.
  • ·        වෘත්තීය ආචාර ධර්ම බිඳ වැටී ඇති දැයි බැලීම​.
  • ·        සේවකයන් තුළ ඇති පෞද්ගලික ගැටලු මොනවා දැයි බැලීම​.
  • ·        රැකියාව පිළිබඳ තෘප්තිමත් භාවය හා පෙලඹවීම අඩූ ඇයි දැයි සොයා බැලීම​.
  • ·        සේවයට වාර්තා නො කර සිටීම හා ඵලදායීතාවය හා නිමැවුම් ප්‍රමාණය අඩු වීමට හේතු මොනවා දැයි සොයා බැලීම යනාදිය තුළින් ඉහත මනෝවිද්‍යාත්මක මෙවලම් වල ධනාත්මක හා ඍණාත්මක බව පිළිබඳ සොයා ගත හැකිය​.

සැමවිට ම ආයතනික සංවර්ධනය උදෙසා ඉහත මනෝවිද්‍යාත්මක මෙවලම් ධනාත්මක මට්ටමක පැවතිය යුතුය​.එනම්, රැකියා තෘප්තිය , පෙලඹවීම වැඩි වීම ,ධනාත්මක වැඩ ආකල්ප පැවතීම , කැපවීම ආදිය දැක්විය හැක​.

වැඩ ආකල්පය යනු පුද්ගලයා තමා කරන වෘත්තිය පිළිබඳව දක්වන අදහසයි.මෙය වර්තමානයේ හුදෙක් ආර්ථික හා පෞද්ගලික ප්‍රතිලාභ මත ගොඩනැගෙන්නක් බවට පත් වෙමින් පවත්නා අතර සැබවින් ම වැඩ ආකල්පය යනු තමා ට රැකියාව අවශය ඇයි ? තමා රැකියාවක් කළ යුත්තේ ඇයි? යන ප්‍රශ්නයන් ට ලබා දෙන පිළිතුර ය​.බොහෝ අය ජීවත් වීමට හා සමජයට ගැළපී ජීවත් වීමට හෝ මුදල් අවශ්‍ය නිසා යනුවෙන් තම පිළිතුරු ලබා දෙනු ලබයි.මේ තුළ ඇත්තේ හුදු පෞද්ගලික ප්‍රතිලාභ ලැබීමේ අපේක්‍ෂාවක්  පමණක් වන අතර සැබෑ ධනාත්මක ආකල්පයක් යනු තමාගෙන් සමාජයට ආර්ථිකයට දායකත්වයක් ලැබිය යුතු ය යන්නත් තමා ලබන වැටුපට සරිලන සේවයක් ලබාදිය යුතු ය යනාදී කැපවීම , අවංකබව ගැබ් වූ හැඟීම් සහිත සිතිවිලි වලට ය​.මෙවැනි ධනාත්මක වැඩ ආකල්පයන් පැවතීම නිසා සේවකයා තම ආයතනයට ආදරය කිරීමටත් එහි පවත්නා නීති රීති වලට යටත්ව කටයුතු කිරීමටත් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වේ.

බොහෝ විට මෙකී වැඩ ආකල්පය පළමුව ආයතනයට ඇතුල් වීමේ දී නොපවතින අතර රැකියා පුහුණුව තුළින් එය සේවකයා තුළට අවශෝෂණය කර ගනු ලබයි.එනම් ආයතනික පරිසරයට උචිත පරිදි චර්‍යාත්මක්ව ද මනෝවිද්‍යාත්මකව ද අදහස් හා ආකල්ප කා වැදීමක් කරනු ලබයි.

එමෙන්ම අදාල ආයතනයන් හීසේවකයා තුළ පවත්නා තෘප්තිමත්භාවය සංවර්ධනයතුළින් ද ආයතනික සංවර්ධනය මනාව පවත්වා ගෙන යාමට හැකි වේ.බොහෝ විට පුද්ගලයා තෘප්තිමත් වනුය්‍ර්‍ර් තම අපේක්‍ෂිත අරමුණු වලට වඩාප්‍රතිලාභ හිමි වීමෙන් ය​.එනම් ආයතනය තුළින් ලැබෙන වරප්‍රසාද හා දිරි දීමනා , වැටුප් යනාදිය යි.මේව ඇතැම් විට භෞතික මෙන්ම මානසිකව ද ලැබීමට හැක​.එනම්, භ්ඖතික ප්‍රතිලාභ යනු මුදල්, සංචාර​,දීමනා,ත්‍යාග යනාදිය යි.මානසික ප්‍රතිලාභ යනු ප්‍රශංසා,ඇගයීම් ,පිළිගැනීමට ලක් කිරීම මත සිතේ ඇති වන පෙලඹවීම සහ සතුට යනාදිය යි. එනම්,
  • ·        ප්‍රවාහන පහසුකම්
  • ·        නිල ඇඳුම්
  • ·        අහාර පානාදිය​
  • ·        ප්‍රථමාධාර හා වෛද්‍ය පහසුකම්
  • ·        රක්‍ෂණාවරණ​
  • ·        ණය පහසුකම්
  • ·        විනෝද උත්සව අවස්ථා
  • ·        සංචාර​
  • ·        අතිකාල දීමනා
  • ·        පැමිණීමේ දීමනා
  • ·        වාර්‍ෂක පාරිතෝෂික දීමනා
  • ·        තනතුරු හා උසස් වීම්
  • ·        ඇගයුම් හා ප්‍රශංසා
  • ·        ත්‍යාග හා සම්මාන  යනාදිය දැක්විය හැකි ය​. 

මෙවැනි තෘප්තිකාරක නොමැති විට සේවකයන් තුළ ආතතිය හා අප්‍රියභාවයක් ඇති කෙරේ.එවිට සේවය හැර යාම​, දැවී යාම ආචාර ධර්ම කඩකිරීම ආදිඅය සිදු වේ. මේ නිස්ස සේවකයාගේ තෘප්තිමත් භාවය අඛණ්ඩව ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමට අවශ්‍ය මානසික හා භෞතික උත්තේජනයන් මතා  ආයතනික තෘප්තිකාරක ලබා දීමට කටයුතු කළ යුතු ය.

            එවිට ස්වේච්ඡාවෙන් ම කැපවීමෙන් හා මනා වගකීමකින් යුතුව පුද්ගලයින් තම ආයතනය ඉටු කළ යුතු රාජකාරි නො පිරිහෙළා සිදු කෙරේ.පෞද්ගලික අභිමතාර්ථ වෙනුවට පොදු ආයතනික අරමුණු වටා එක් වී තම කාලය , ශ්‍රමය හා කැපවීම උපරිමයෙන් ලබා දීමට කටයුතු කරනු ලබයි.එම නිසා අයතනයේ සඵලදායීත්වය හා කාර්‍යක්‍ෂමතාවාය ඉහළ යමින් අයතනික කාර්‍යඵලයන් වැඩි දියුණු කරගනිමින් ආයතනික සංවර්ධනය කරා පහසුවෙන් ළඟා  වීමට හැකියාවක් ලැබේ.

ආශ්‍රිථ ග්‍රන්ථ 

  • පෙරේරා,ඥානදාස උපදේශන මනෝවිද්‍යාව​;සහස්‍ර ප්‍රකාශකයෝ,කොලඹ 10,2011.

  • රාමනායක, යූ බී,සහ වෙනත් අය​,සංවිධාන චර්‍යාව​,විජේසූරිය ග්‍රන්ථ ප්‍රකාශකයෝ,මුල්ලේරියාව​,2005.

  •  කළුආරච්චි කේ ඒ එස් පී,සංවිධාන චර්‍යාව :න්‍යාය සංකල්ප හා යෙදීම්,ඇස්.ගොඩගේ සහ සහෝදරයෝ,කොලඹ 10,2011.

  • Cataloguing internet resources: Do you have Stress: Positive articles posted by Pradeep Gunarathna, Saturday, May 12, 2012:11.52 pm.


ඇල්ෂයිමර් රෝගය



ඇල්ෂයිමර් රෝගය යනු අමතකවීම ඇතිකරන ප්‍රධානතම හේතුවකි. මෙය ලොව පුරා මිලියන 24 ක් පමණ වූ ජනතාව අතර දක්නට ඇති තත්වයකි. යොවුන් වියේ පසුවන අයට ක්‍රමයෙන් වියපත් වෙද්දී තමන්ගේ මතකය යම් තරමකින් අඩුවීම බහුල වශයෙන් දැක ගත හැකියමතකය අඩුවීම හෙවත් ඇල්සයිමර් රෝගය වැඩි වශයෙන් වැළඳෙන්නේ අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයන්ට යඑහෙත් කලාතුරකින් වයසඅවුරුදු 50 වැඩි පුද්ගලයන්ට ද මෙම තත්ත්වය වැළඳිය හැකිඇති අතර ඊට වඩා අඩු වයස් ඇති අය අතර වුවද කලාතුරකින් දක්නට ඇත. ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වෙන විනාශකාරී රෝගයක් වන අතර මේ වනවිටද නිශ්චිත ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන නොමැත.  රෝගය හදුනාගන්නා අවස්ථාව වන විට රෝගය හටගෙන වසර ගණනක් ඉක්මවා ගොස් තිබිය හැකිය. මුල් අවධිවලදී කෙටිකාලීන මතකය නැතිවීයාම බහුලව සිදුවේ. නමුත් මෙය වයස්ගත වීමත් සමග සිදුවන්නක් හෝ මානසික ආතතිය නිසා ඇතිවන්නක් ලෙස වරදවා වටහා ගත හැකිය. පුද්ගලයා වයසට යාමත් සමඟ පහත ආකාරයේ අර්බුදයන් ඇති කෙරේ. එනම්,
  1. මොළයට ලැබෙන රුධිර සැපයුම 20% පමණ අඩු වෙයි.
  2. ස්නායු දිගේ පණිවුඩ ගමන් කිරීම පෙරට වඩා 10%කින් අඩු වෙයි.
  3. රස දැනීමේ හැකියාව හා යමක් අල්ලා  ගැනීමේ හැකියාව පෙරට වඩා අඩු වේ.
වයස්ගතවීමත් සමඟ කෙනෙකු අබල දුබල වනුයේ මෙම වෙනස්කම නිසා ය.ඇල්ෂයිමර් රෝගය ඇති විට පහත තත්වයන් ඇති වේ.
  • සිහිවිකල් වීම 
  • කෝපය 
  • චිත්ත ස්වභාවයේ සිදුවන වෙනස්වීම් 
  • කථාකරන භාෂාවේ සිදුවන වෙනස්වීම් 
  • දීර්ඝ කාලීන මතකය නොමැතිවීම 
  • අවට සමාජයෙන් වෙන්වී සිටීම. 
  • මරණය ළගාවන තෙක් මෙම රෝගීන්ගේ ප්‍රධාන දේහ ක්‍රියාකාරීත්වයන් ක්‍රම ක්‍රමයෙන් දුර්වලවීම
ඉහත කී රෝග ලක්ෂණ බහුලව පොදුවේ දක්නට ලැබුණද එක් එක් රෝගීන්ට තමාටම ආවේනික වු රෝග ලක්ෂණ ඇති වේ.සාමාන්‍යයෙන් රෝගය වසර 5 සිට 20 දක්වා පැවතිය හැකිය.මෙම රෝගියෙකු වෛද්‍යවරයෙකු හමුවීමට යන්නේ තමාට අමකත වීම ඇති බව දැන ගැනීමෙන් පසුවය. එයට වෛද්‍යවරයා මගින් රෝගි‍යාගේ හැසිරීම පිළිබදව අධ්‍යයනය කිරීමෙන් ඔහුගේ ප්‍රජානන ක්‍රියාවන් පරීක්ෂණයට බදුන් කිරීමෙන් සහ මොළයේ ස්කෑන් කිරීමකට ලක් කිරීම මගින් රෝග විනිශ්චයට එළඹේ. 

ඇල්ෂයිමර් රෝග තත්ත්වයක් ඇති වීම
ස්නායු සෛල විනාශ වී යාම මෙම තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවයිමොළයේ එක්තරා විශේෂිත ප්‍රදේශයක මෙම තත්ත්වයදැකිය හැකියිමොළ පටලයේ සුසුම්නා ශීර්ෂයකට ඉදිරියේ පිහිටන මෙම ප්‍රදේශය හඳුන්වන්නේ හයිපෝකැම්පසය’ ලෙස ය.මෙය තනන ස්නායු සෛල විනාශවී යාම රෝගය නිසා ඇතිවන අහිතකර තත්ත්වයයිකෙනෙකුගේ මතකය පාලනය කරන්නේ මෙම හයිපෝකැම්පසය මඟිනි.

සෛල මිය යාම 
  •        වෛරස්  වර්ග (සෙමෙන් ක්‍රියාකරන වෛරසය)
  •        සමහර රසායනික ද්‍රව්‍ය විනාශවී යාම පිළිබඳව නිශ්චිත හේතු සොයා ගැනීම තවමත් පරීක්ෂණ මට්ටමක පවතී.

මතකයට හානි වීම
  • කෙටි කාලීන මතකය

පෙර දවසේ පැවසූ දෙයක් අද වනවිට අමතක වීම කෙටි කාලීන මතකය අමතක වීමයිමෙහි ගබඩා කරගන්නා දේ ටිකදවසකින් අමතකවී යයිරෝගය සෑදීම සඳහා මුලින්ම සිදු වන්නේ කෙටි කාලීන මතකය අහිමිවීමයිරෝගයේ මුල්අවස්ථාවේ දී අවුරුදු 20 - 30 ට පෙර වූ දේවල් මතකයේ තිබුණ ද පෙර දිනයේ කියූ දේවල් අමතකවී යාම සිදුවේ
  • දිගු කාලීන මතකය

   අවුරුදු ගණනාවකට කලින් හමු වී කෙනෙකු යළිත් හඳුනාගැනීමට දිගු කාලීන මතකය උදව් වේමෙහි ගබඩා කළ කරුණුලෙහෙසියෙන් අමතකනොවේකල් යාමේදී අමතකවීම විශාල වශයෙන් සිදු වෙයිඇතැම් විට මුහුණ සේදීමට අමතකවීමකමිසයේ බොත්තම්වැරදි ආකාරයට දැමීම වැනි දේ සිදු විය හැකියි.රෝගය උත්සන්න වීමත් සමඟ කතා බහ පවා අඩුවන අතර අවසානයේ දී මළ මුත්‍රා පහ කිරීමට පවා අමතක වෙයි.

ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට ‍හේතුව සහ එහි වර්ධනය


ඇල්ෂයිමර් රෝගය ඇතිවීමට ‍හේතුව හෝ එහි වර්ධනය පිළිබදව මෙතෙක් හදුනාගෙන නොමැත. මෙහිදී මොලයෙහි කැලැල් ඇතිවීමක් හා සංකූලතාවයක් හටගනී. වියපත් මොළයේ ඇතිවන  plaques සහ tangles කියන විකෘති වූ ප්‍රෝටිනයක්  ඒ මොළයේ ම සෛල මරමින් ටිකෙන් ටික මොළය හකුළුවන්නට පටන් ගැනේමෙම රෝගයෙහි අනුමාන කළ හැකි හේතු සාධකයන් සහ  ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබද තර්ක විතර්ක ඇත. මෙම විතර්කයන් සනාථ කිරීම සදහා ඒවාට ම අනුකූල වන පරිදි සාක්ෂි ද  ඉදිරිපත් කර ඇත. නමුත් මෙතුවක් මෙම රෝගය නැවැත්විම හෝ නැවත යථාතත්වයට පත් කර ගැනීම සදහා ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නොමැත. තවද දැනට පවතින ප්‍රතිකාර ක්‍රම මගින් රෝගය තව දුරටත් වර්ධනය වීම අඩාල කිරීමක් සිදුවන  බව හෝ  එහි රෝග ලක්ෂණ පාලනය කිරීමක් පමණක් සිදුවන බව හෝ සොයා ගෙන ‍නොමැත. ඇල්ෂයිමර් රෝගය වලක්වා ගත හැකි ක්‍රමවේදයන් යෝජනා වී ඇතත් රෝගයෙහි ව්‍යාප්තිය හෝ බරපතලකම අවම කිරීම සදහා ඒ ක්‍ර‍මවේදයන්හි වැදගත්කම ඔප්පු වී නොමැත. මානසිකව නොයෙකුත් උත්තේජයන් ලබාදී මනස ප්‍රබෝධමත් කිරීම හා සමබර ආහාර ‍වේලක් ලබා ගැනීම රෝගය වලකා ගැනීමට මෙන්ම රෝගය සදහා ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ද නිර්දේශ කර ඇත.

ඇල්ෂයිමර් රෝගියෙකු රැක බලා ගැනීම


මෙවැනි රෝගීන්ට මුලින්ම නැති වී යන්නේ කෙටි කාලීන මතකයයිඔවුනට මද  වේලාවකට කලින් සිදු කල දෙයක් සිදු නොකලාක් මෙන් සිතේනමුත් මොවුනගේ දිගු කාලීන මතකය එනම් ඔවුන් කුඩා කල කළ කී දෑ පාසැල් අවධිය ඔවුනට හොඳින් මතකයේ තිබේඑසේම මේ තත්වය නිසා ඔවුන්ගේ පෞර්ෂත්වය බුද්ධිය හීන වන බවද පෙනෙන්නට ඇත.මෙම රෝගය පරම්ප‍රාවෙන් පරම්පරාවට උරුමවන බවද කියැවේමෙවැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න රෝග ඉතිහාසය මගින් රෝගය පහසුවෙන් විනිශ්චය කල හැක.මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කිරීමට නිශ්චිත ප්‍රතිකාරයක් නැතත් මුල් කාලයේ ම හඳුනාගැනීමෙන් ඇතැම් ඖෂධ ලබාදීම මගින් රෝගය වඩාත් උත්සන්නවීමෙන් වැළකිය හැකියවඩාත් වැදගත් වන්නේ රෝගීන් රැකබලා ගැනීමයිවඩා සුදුසු වන්නේ නිවෙස් තුල සිටියදීම රැකබලා ගැනීමයිමන්ද මහළු නිවාස වලට යොමු කිරීමෙන් රෝගය වඩා දරුණු අතට පත්විය හැක. මීට අමතරව ඔවුන් රැකබලා ගැනීමේදී පහත දෑ පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් වේ.
  • ඔවුනට මනා ආලෝකයෙන් යුතු කාමරයක් ලබාදීම
  • ඔරලෝසුවක් හොඳින් පෙනෙන සේ සවිකිරීම
  • එදිනෙදා දිනය ලොකුවට ලෑල්ලක ලියා තැබීම
  • වැසිකිළයට සහමාර්ගය ඊතල වලින් නිවසේ සලකුණු කර තැබීම
  • නිවසේ ගෘහ භාණ්ඩ තබන ස්ථානයන් නිතර වෙනස් නොකිරීම
  • ඔවුන් සමග නිතර කථා බහ කිරීම 


ඇල්ෂයිමර් රෝගය ක්‍රමයෙන් පරිහානියට පත්වන සුවකළ නොහැකි රෝගී තත්වයක් නිසා රෝගියා කරුණාවෙන් හා ඉතා හොද අවධානයකින් බලා ගැනීම කළ යුතුය. මෙම කර්තව්‍ය රෝගියාගේ සහකරු හෝ සහකාරියගෙන් හෝ රෝගියාට ඉතා සමීප ඥාතියෙකු ගෙන් ඉෂ්ඨ කර ගත හැකි වේ. මෙවන් රෝගියෙකු රැක බලා ගන්නා ආවතේවකරුවකු වුවද රෝගියා බලාගැනීමේදී ශාරීරික වශයෙන් විඩාවට පත්වන අතර මානසික වශයෙන්ද රෝගියා වෙනුවෙන් සිදු කිරීමට ඇති කාර්යයන් කැප කිරීම් නිසා මානසික ආතතියකට පත්වේ.

ආශ්‍රිත ග්‍රන්ථ




Tuesday, November 22, 2016

ක්ලමථය ක්‍රීඩාවට බලපාන ආකාරය පිළිබඳ විමසුමක්

සංක්ෂේපය

ක්ලමථය යනු විවිධ අර්ථ සහිත  ඉතා පුළුල් පරාසයක් ඔස්සේ පැතිර පවත්නා සංකල්පයක් ලෙසින් හැඳින්විය හැක. මෙකී සංකල්පය පුද්ගලයා යම් උත්තේජනයකට මුහුණ දෙනු ලබන ආකාරය මත විවිධ ස්වරූපයන් ගනු ලබයි. ඒ අනුව ක්ලමථයෙහි ස්වරූපයන් මොනවාද යන්නත් ක්ලමථය හේතුවෙන් පුද්ගලයා තුළ ඇති වන ක්ලමථකාරී ලක්ෂණ කවරේ ද යන්න ත් ක්‍රීඩාව සඳහා බලපාන්නාවූ ක්ලමථකාරකයෝ කවරේද යන්නත් මෙම ක්ලමථකාරකයන් ක්‍රීඩකයින් සඳහා බලපෑම් කරනු ලබන ආකාරය කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ.

ක්ලමථය නිර්වචනය කිරීම

ක්ලමථය යනු බාහිර උත්තේජනයකට පුද්ගලයා විසින් ඉදිරිපත් කෙරෙන අභ්‍යන්තරික් ප්‍රතිචාරයකි. එහෙත් එක ම උත්තේජයකට වුවුද පුද්ගලයා දක්වනු ලබන ප්‍රතිචාරය විවිධාකාර වනු ඇත. එසේ වනුයේ ඒ ඒ පුද්ගලයා සතුව පවත්නා දැරීමේ හා මුහුණදීමේ හැකියාව, අධිෂ්ඨානශීලීබව, පෞරුෂ ගුණාංග යනාදිය හේතුවෙනි. ක්ලමථය යන්නට ඉංග්‍රීසි බසින් “Stress” යනුවෙන් භාවිතා වන අතර එය ඉංග්‍රීසියට බිඳී එන්නේ ලතින් භාෂාවට අයත් “Stricuts” යන වචනයෙනි. එහි අර්ථය වනුයේ පීඩාව, විපත, ආයාසය, යන්නයි. එනම්, ක්ලමථය යනු සරල මානසික පීඩාවකි. මෙකී ක්ලමථය යන්න දාර්ශනික දෘෂ්ටිකෝණය යටතේ ඉච්ඡාභංගත්වය (Frustration) ලෙසින් ද වෛද්‍යවිද්‍යාත්මක දෘෂ්ටිකෝණය යටතේ ආතතිය (Tension) ලෙසින් ද හදුන්වනු ලබයි.  ඒ අනුව ක්ලමථය යනු කුමක්දැයි යන්නට විවිධ නිර්වචනයන් ඉදිරිපත් කළ හැකිය. එනම්, “අප ජීවත්වන පරිසරය තුළින් ඇති වී අපගේ ශාරීරික හා මානසික ක්‍රියාකාරීත්වයට අවධානමක් හෝ බිඳවැටීමක් ගෙනදෙන සිදුවීම් වලට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියකි."”(Baron A. Robert, 2008) එසේ නැතිනම් ක්ලමථය යනු “පුද්ගලයාට අභියෝගයක් ඇති වූ ඉට පරිසරයට අනුගතවීමේ තත්වයකි”(Coon, Dennis, 1994).

ක්ලමථ වර්ගීකරණය හා ක්ලමථකාරී ලක්ෂණ

මෙකී ක්ලමථය ඉදිරිපත්වන ආකාරය මත පදනම්ව මූලික වශයෙන් ම ක්ලමථ වර්ග කීපයක්  හඳුනාගැනීමට හැක. එනම්,
  • ·         ජීවවිද්‍යාත්මක ක්ලමථය - Biological Stress
  • ·         මනෝවිද්‍යාත්මක ක්ලමථය - Psychological Stress
  • ·         පාරිසරික ක්ලමථය - Environmental Stress
  • ·         සියුම් ක්ලමථය - Acute Stress
  • ·         නිදන්ගත ක්ලමථය - Chronic Stress
  • ·         සාධනීය ක්ලමථය  - Eu stress
  • ·         නිෂේධනීය ක්ලමථය  - Distress 
ජීවවිද්‍යාත්මක ක්ලමථයේදි  ශරීර අභ්‍යන්තරයෙහි සිදුවන රසායනික වෙනස්කම් (කෝටිසෝල් නම් රසායනිකය) වල බලපෑම හේතුවෙන් පුද්ගලයා ජීවවිද්‍යාත්මක වශයෙන් ක්ලමථයට පත් වේ.

කය හා මනසෙහි පවත්නා අන්තර් සම්බන්ධතාවය හේතුවෙන් කයෙන් සිදුවන වෙනස්වීම් මනසට ද මනසෙහි සිදුවන වෙනස්වීම් පෙරළා කයට ද බලපාන බැවින් මනෝවිද්‍යාත්මක වශයෙන් ද ක්ලමථය ඇති වේ.

එමෙන් ම  පුද්ගලයා ජීවත්වන විවිධ පාරිසරික පද්ධතීන් තුළ දී හමුවන්නා වු ක්ලමථකාරකයන් (භෞතික පරිසරය, සමාජ අවස්ථා, නිවසේ   ආයතන වල වැඩ රාජකාරි, මහාමාර්ගය, සංස්ථා ගැටුම්) හේතුවෙන් පාරිසරිකමය වශයෙන් පුද්ගලයා තුළ ක්ලමථය ඇති කෙරේ.

 තව ද ඉතාමත් කෙටි කාලයක් තුළ යම් යම් සරල කාරණාවන් (විවාහය,රැකියාවේ උසස්වීම්, පිරිසක් ඇමතීම) මුල් කරගෙනඩ ද  පුද්ගලයා තුළ සියුම් ක්ලමථය ඇති වේ. නැතහොත්  ක්ලමථය කාලාන්තරයක් තිස්සේ යටපත්ව පැවතීම (කාලාත්‍රයා මියයාමේ දුක, ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටීමේ දුක) මත නිධන්ගතමය වශයෙන් පැවත පුද්ගලයා තුළ ක්ලමථය ඇති වේ.

එමෙන් ම විටෙක මෙම ක්ලමථය පුද්ගලයාට සාධනීය හෙවත් ධනාත්මකව ද (විභාගය, සම්මුඛ පරික්ෂණ) තවත් විටෙක නිශේධනීය හෙවත් ඍණාත්මකව ද ( තරගයක් පරාජයට පත්වීම, විභාග අසමත්වීම) බලපානු ඇත.

ඒ අනුව මෙකී විවිධ ක්ලමථයන් හේතුකොට ගෙන පුද්ගලයා තුළ කායික, ප්‍රජානනික, චිත්තවේගාත්මක හා චර්‍යාත්මක වශයෙන් විවිධ ක්ලමථකාරී ලක්ෂණයන් ඇති කරවනු ලබයි. එනම්,
කායික
චිත්තවේගාත්මක
ප්‍රජානනික
චර්‍යාත්මක
ශාරීරික වේදනා
නොසන්සුන්බව
මතකය ආශ්‍රිත ගැටලු
ආහාර රුචිය අඩු/වැඩි වීම
පාචනය
තරහායාම
අවධානයේ ගැටලු
හුදකලාවීමට උත්සහ කරයි
මලබද්ධය
කලබලකාරී බව
තීරණ ගැනීම ආශ්‍රිත ගැටලු
නිය සැපීම
ඔක්කාරය
හුදකලාබව
 ඍණාත්මක ෂ්ටිය
නින්ද අඩු/වැඩි වීම
කරකැවිල්ල
පීඩාකාරී සිතිවිලි
කනස්සලු සහගත බව
වගකීම් පැහැර හැරීම  
හෘද ස්පන්දනය වැඩිවීම
සතුටක් නොදැනීම
කාංසාජනක බව
මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වීම     
ලිංගික ප්‍රේරණය අඩු/වැඩි වීම



ක්‍රියාකාරකම් සඳහා මැලිවීම




ක්‍රීඩාව හා ක්ලමථකාරක

ක්ලමථකාරී ලක්ෂණ සඳහා මූලික ලෙස ම බාහිර හා අභ්‍යන්තරික වශයෙන් පුද්ගලයාට විවිධ බලපෑම් ඇතිවිය හැකි අතර ක්‍රීඩාවේදී ද විවිධ වූ ක්ලථකාරකයන් හේතුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ද ක්ලමථය ඇතිවිය හැක. ඒ අතර ක්‍රීඩා පුහුණුකරුවන්, ආර්ථික ගැටලු, අන්තර්පුද්ගල ගැටුම්, රැකියාව, තරගකාරීත්වය, මාධ්‍ය බලපෑම්,නවකයන්ගෙන් එල්ලවන අභියෝග, මූල්‍ය අනුග්‍රාහකයන්ගේ බලපෑම්, දේශගුණික හා පාරිසරික බලපෑම්, සමීප සම්බන්ධතාවන්ගේ බලපෑම් හා ගැටලු යනාදිය ප්‍රධාන වේ.

ක්‍රීඩාවට ක්ලමථකාරකයන් බලපාන ආකාරය

පුහුණුකරුවෙක් සැමවිටම තමා යටතේ සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැගීම්, චිත්තවේග, පෞරුෂ ලක්ෂණ, මානසික තත්වය, ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ මනා අවබෝධයකින් සිටිය යුතුය. එනම්, ඔහු හෝ ඇය සතු ශාරීරික දරාගැනීමේ හැකියාව සහ සටන් කළ හැකි ධාරිතාවය යනාදිය යි. මන්දයත් එසේ නොවූ විට අධිපුහුණුව (Over Training) සිදු වී ඉන් ක්‍රීඩකයාගේ කායික හා මානසික සමතුලිතතාවයට බලපෑම් එල්ලවනු ඇත. මේ නිසා ක්‍රීඩකයා දැවීයාමකට (Burnout) හෝ ශාරීරික ආබාධයන්ට ලක්වීමට ද හැකියාවක් පවතී. එමෙන් ම ක්‍රීඩකයාගේ පෞද්ගලික ජීවිතයට (ලිංගික සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා, යහළුමිත්‍ර සම්බන්ධතා හා නිදහස) බාධා කිරීම නිසා ද ක්ලමථකාරී තත්වයන් ඇති වේ. මේ නිසා සැමවිට ම පුහුණුකරු ක්‍රීඩකයන්ගේ ආකල්ප, රුචිඅරුචිකම්, පුරුදු යනාදිය ඉතාමත් සුහදව පාලනය කරමින් ඉන් මානසික පීඩාවක් ඇති නො වන ලෙස කටයුතු කිරීමට වගබලා ගත යුතු ය.
එමෙන් ම ආර්ථික ගැටලු යන්න ද ක්‍රීඩාවේ ක්ලමථය ඇති කරවන තවත් ප්‍රබල සාධකයක් ලෙස හැදින්විය හැක. පසුගිය දශක කිහිපය දෙස බැලීමේදී පෙනීයන්නේ ගම්බද පෙදෙස් ආශ්‍රිතව දක්ෂතා සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි වී ඇති බවකි. එබැවින් ඔවුන්ගේ පවුල් පසුබිම තුළ සිටින යැපෙන්නන් සංඛ්‍යාව වැඩිවීම, ක්‍රීඩා උපකරණ මිලට ගැනීමට සිදුවීම, කොළඹ නගරය ආශ්‍රිතව පදිංචි වීමට සිදුවීම යනාදි කාරණා හේතුවෙන් ඔවුන් තුළ ආර්ථිකමය වශයෙන් ගැටලු රැසක් උද්ගත වේ.

මීට අමතරව ඇතැම්විට ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුකරු හා වෙනත් නිලධාරීන් සමඟ විවිධ මත ගැටුම් ඇති කරගනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම්විට තරග වලින් ඉවත් කිරීම, තරග සඳහා තේරීම් කිරීමේදී ප්‍රතික්ෂේප කිරීම යනාදිය ද සිදු වනු ඇත. වර්තමානයේදී බොහෝවිට මේ සඳහා දේශපාලනික මැදිහත්වීම් ද හේතු වේ. මෙවැනි අසාධාරණකම් හේතුවෙන් ද කීඩකයන් තුළ පීඩාකාරී මානසික තත්වයන් ඇති කෙරේ.

එමෙන් ම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා අනුග්‍රාහකත්වය සැපයීම මත විවිධ රැකියා හිමිවීමේදී ද බොහෝවිට තම කැමත්ත හෝ අකැමත්ත කුමක් වුවද ආයතනික අවශ්‍යතා හා අරමුණු වෙනුවෙන් පෙනී සිටීමට සිදු වේ. එමෙන් ම තම හැකියාවන් මත පමණක් අනුග්‍රාහකත්වය රැඳී තිබීම නිසා අඛණ්ඩව ම තම හැකියාවන් පවත්වාගෙන යාම අනිවාර්‍ය අවශ්‍යතාවයක් වීම හේඑතුවෙන් ද ක්‍රීඩකයන් තුළ ක්ලමථය අධික වේ.

මීට අමතරව ක්‍රීඩකයන් අතර තරගකාරීත්වය වැඩි වනවිට ද ජයග්‍රහණයට හෝ පරාජයට ක්ලමථය හේතුවනු ඇත. එනම්, ක්ලමථයේ එක්තරා මට්ටමකදී ක්‍රීඩකයාගේ කාර්‍යඵලය ඉහළ නංවනු ලබයි.

නිදසුන් :
උසේන් බෝල්ට් ප්‍රකාශ කරන පරිදි ඔලිම්පික් මීටර් 100 තරගය සැමවිට ම තමාව පීඩාවට පත් කළ තරගයක් වූ අතර එම පීඩාව තමාගේ ජයග්‍රහණයට හේතු වූ බව දැක්විය හැක.
එමෙන් ම රටක ජීවත්වන ජනතාවගේ ආකල්ප හා සංස්කෘතිය තුළ වෙනසක් ඇති කිරීම සඳහා ප්‍රධාන ලෙස ම ජනමාධ්‍ය බලපානු ලබයි. එලෙසින් ම ක්‍රීඩාවේ උන්නතිය සඳහා ද මාධ්‍ය යම්කිසි දායකත්වයක් සපයනු ලබයි.එනම්, ක්‍රීඩාව මාධ්‍ය කලාවට ආකර්ෂණීය පුවත් සපයනු ලබන අතර ක්‍රීඩා මාධ්‍යවේදීන් සාමාන්‍ය මාධ්‍යවේදියෙකුට වඩා වෙනස් භූමිකාවක් රගදක්වනු ලබයි. මන්දයත් ක්‍රීඩාවේ ජය-පැරදුමේදී ක්‍රීඩාවට සහ ක්‍රිආඩකයි ක්‍රීඩිකාවන්ට ද සමාජයට ද අහිතකර නො වන පරිදි මාධ්‍ය භාවිතා කළ යුතු ය. එසේ නො වන අවස්ථා වල ක්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල වේ.  

තව ද ක්‍රීඩකයෙකුට තමා දිගු කාලයක් තිස්සේ දක්ෂතා පෙන්වමින් සිටි ඉසව්ව සඳහා නවක ක්‍රීඩකයන් පැමිණීම ද ක්ලමථය ඇති කරවන්නකි. එය ධනාත්මකව භාර ගැනීමෙන් ජයග්‍රහණය ද ඍණාත්මකව භාර ගැනීමෙන් පරාජය ද අත්වනු ඇත. මේ නිසා ඇතැම් ක්‍රීඩකයින් තරග අවස්ථා ද මගහරිනු ලබයි. එමගින් ඔවුන් ඉච්ඡාභංගත්වයට පත් වේ. එම නිසා පෙර  පැවති ජනප්‍රියත්වය හා ආකර්ශනය අඩුවී යාම මත තව තවත් ක්ලමඨ්හය වැඩි වේ.

නිදසුන්:
උසේන් බෝල්ට් වැනි ක්‍රීඩකයින්ගේ අදහස වනුයේ තම සගයා වූ යොහාන් බ්ලේක් නැමැත්තා තාමට පමණක්  දෙවැනි වන අතර උසේන්ට තමාගේ උපරිම ජවය ලබා ගැනීම සඳහා යොහාන් බ්ලේක් සිටීම අනිවාර්‍ය විය.

එමෙන් ම කණ්ඩායමට තරගකරුවන් තේරීමේ දී, ශිෂ්‍යත්ව ලබාදීමේ දී, තරග සංචාර සඳහා තේරීමේ දී දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ද ක්‍රීඩකයින් මානසිකව පීඩාවට පත් වේ.

ප්‍රේක්ෂකයා සහ ආධාරකරුවන් යන පාර්ශවයන් ද ක්‍රීඩාව නැමති ක්‍රියාවලියේ ප්‍රබල ම සාමාජිකයින් වන අතර ඔවුන්ගෙන් එල්ල වන ප්‍රතිචාර වල ස්වාභය ද ඍජුව ම එල්ල වනුයේ ක්‍රීඩකයන්ගේ මානසික ඒකාග්‍රතාවය වෙතට ය. විටෙක ප්‍රේක්ෂක ප්‍රතිචාර ජයග්‍රහණය සඳහා ද තවත් විටෙක පරාජය සඳහා ද හේතු වනුයේ එබැවිනි.

 තව ද දේශගුණික හා පාරිසරික සාධක මත ද ක්ලමථය ඇති වේ. එනම්, දැඩි උණුසුම් හෝ සීත දේශගුණයක් සහිත වෙනත් රටක තරගවැදීමට සිදුවීම නිසා තම දක්ෂතා උපරිමයෙන් පෙන්වීමට අසීරුවීම ක්‍රීඩකයා තුළ දැඩි පීඩනයක් ඇති කරවනු ලබයි.

මෙකී කාරණාවන්ට අමතරව ක්‍රීඩකයන්ගේ මානසිකත්වය සඳහා දැඩිව බලපානු ලබන තවත් සාධකයක් වනුයෙ සමීප සම්බන්ධතා ආශ්‍රිත බලපෑම් හා ඒ ආශ්‍රිතව ඇතිවන් ගැටලු ය. එනම්, පවුල් සම්බන්ධතා හා වෙනත් සම්බන්ධතා අතර පවත්නා විවිධ ආරවුල් යනාදියයි.

නිගමනය

මෙකී විවිධ ක්ලමථකාරී සාධක මුල්කොට ගෙන ක්‍රීඩාවේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළ අඩු-වැඩි වශයෙන් ක්ලමථය ඇති කරනු ලබන අතර එකී ක්ලමථය ඍජුව ම ඔවුන්ගෙ මානසික ඒකාග්‍රතාවයට බලපෑම් එල්ල කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස තම උපරිම දක්ෂතාවයන් දැක්වීමට නොහැකිවීම හෝ ඒ පිළිබඳව අවිශ්වාසයක් ඇති වීම, ඉච්ඡාභංගත්වයට පත්වීම යනාදි තත්වයන් ඇති විය හැක. එහෙත් තවත් අයෙකුට එය තම ජයග්‍රහණයට සහයක් හෝ දිරිගැන්වීමක් ලබාදෙන උත්තේජයක් විය හැක. ඒ සඳහා ඔවුන් සතු ප්‍රජානන, පුහුණුව, පෞරුෂය, අත්දැකීම්, අධිෂ්ඨානශීලීත්වය යනාදි සියල්ල ම හේතු වේ. ඒ අනුව මෙකි ක්ලමථය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා කෙසේ බලපාන්නේදැයි නිශ්චිත වශයෙන් ම නිගමනය කිරීමට  අසීරු වන අතර ක්‍රීඩාවේදී ක්ලමථය යන්න ධනාත්මක හා ඍණාත්මක වශයෙන් දෝලනය වෙමින් බලපාන්නා වූ සාධකයක් ලෙසින් හැඳින්විය හැකි ය.

ආශ්‍රිත ග්‍රන්ථ

  • බණ්ඩාර, සම්පත්, 2013, මිහිමත බිහි වූ වේගවත් ම මිනිසා : උසේන් බෝල්ට්, ෆාස්ට් ප්‍රින්ටරි ප්‍රයිවට් ලිමිටඩ්, කොළඹ 10.

  • හපුආරච්චි, සමරසිංහ සහ අලහකෝන්,2010, සෞඛ්‍ය මනෝවිද්‍යාව, සුසිත ප්‍රකාශන, රාජගිරිය.

  • Cohn, Patrick , How stress can affect sports performance. Available from : http://www.peaksports.com " [23 September 2015]

  • Mallalieu, S D ,Stressors and spors. Available from: http://www.ncbi.nlm.nih.gov [27 May 2009]